Monday, September 24, 2012

යථාර්තය ඇත්තේ සිහිනය දරාගත නොහැක්කවුන් සඳහාය



සිග්මන් ෆ්‍රොයිඩ් ගැන සිංහල මිනිසුන්ට ඇත්තේ කතරගම දේවාලයේ වැඩ සිටින දෙවියන් වැනි හැගීමකි. අප විදිනා අශ්ලීල විනෝදයක් ගැන වැඩියෙන්ම දන්නේ දෙවියන්ය. අප දෙවියන්ට විවිධ භාරහාර පුද පූජා කරන්නේ අපගේ අශ්ලීල විනෝදය දකිමින් සිටින උන්වහන්සේ ගෙන් ඒ ගැන සමාව ඉල්ලන්නටය.
ෆ්‍රොයිඩ් ගැන අපට ඇති හැගීමද ඊෂ්‍යාකාර දෙවියෙකු පිළිබද හැගීමට ඉතා සමීපය. ෆ්‍රොයිඩි අපගේ අවිඥාණික ආශාවන් කලින්ම දන්නවා ඇතැයි අප අනුමාන කරන්නේම එබැවිනි. සිංහල බොහෝ දෙනා ෆ්‍රොයිඩ් විරෝධීන්ය. සිහින දැකීම සැබෑ ජීවිතයේ ඉටුකර ගත නොහැකි ලිංගික ආශාවන් ඉෂ්ඨකර ගැනීම යැයි ප්‍රසිද්ධියේ කීවේ කේ.කේ සමන් කුමාරය. මෙය ෆ්‍රොයිඩ්ගේ අදහසක් නොව සමන් කුමාරට ෆ්‍රොයිඩි ගැන තිබෙන අදහසකි.


එබැවින් සිංහල ජිජැක් තීරණය කළේ ෆ්‍රෙයිඩිගෙන් වැඩ පටන් ගත යුතු බවයි. ෆ්‍රෙයිඩිගේ න්‍යායට විවිධ කතා නැත. ඇත්තේ එක් කතාවක් පමණි. බොහෝ දෙනා සිතන්නේ යථාර්ථයේ කටුක බවින් මිදෙන්නට මිනිසුන් සිහින දකින බවයි. නමුත් ෆ්‍රෙයිඩ් කියන්නේ මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තයි. ඔහුට අනුව සිහින දකින්නෙකුට සිහිනයක් දරාගත නොහැකි නම් ඔහු එහි කටුක බවින් මිදෙන්නට යථාර්ථයට ඇහැරෙන බවයි. උදාහරණයක් ලෙස සමකාලීන ධනවාදය නම් සිහිනය දරාගත නොහැකි සිංහලයා යථාර්ථය ලෙසින් අවධි වී ඇත්තේ සිංහල ජාතිවාදයට ය.
එනම්
සිහිනය = ධනවාදය
යථාර්ථය = ජාතිවාදය


  යථාර්තය ඇත්තේ සිහිනය දරාගත නොහැක්කවුන් සඳහාය


  මෑත යුගයේ දී මනෝ විශ්ලේෂනය මිය ගිය බව නිතරම අසන්නට ලැබුණු කරුණකි. බුද්ධි විද්‍යාවේ සිදුවන නව ප්‍රගමනයන් මෙය සැබවින්ම පැහැදිලි කරයි. එනම්, ආගමික පාපොච්චාරණය කරන්නවුන්, පුර්ව විඥාන ප්‍රගති විරෝධකයින්ගේ ගොනුවට අයත්වන ස්වප්න කියවන්නන් විසින් සැඟවුනු අර්ථයන් ගවේශනය කිරීමයි. ටොඩ් ඩෆ්රෙස්නේ පවසන ආකාරයට මානව සංකල්ප පිළිබඳ ඉතිහාසයේ අන් කිසිවකු මාක්ස් හැරල තම මූලධර්ම සියල්ල ම පිළිබඳ මීටත් වඩා සාවද්‍ය වී නොමැත. “ the black book of communication” නම් කෘතියට පසුව එළි දැක්වුන ඊට අනුගාමී “ the black book of psychoanalysis” යන කෘතියෙහි ෆ්‍රොයිඩ් සහ ඔහුගේ අනුගාමිකයින්ගේ සියලුම න්‍යායාත්මක අතපසුවීම් සහ දෘෂ්ටාන්තයන් පෙළ ගස්වා පෙන්වයි. මේ අයුරින්, මාක්ස්වාදය සහ මනෝවිශ්ලේෂනය අතර ඇති ගැඹුරු ඒකමතිකත්වය (profound solidarity) සියල්ලන්ගේම දැන ගැනීම පිණිස එළිදක්වා ඇත.

ශතවර්ෂයකට පෙර, ෆ්‍රොයිඩ් මනෝවිෂ්ලේශනය ඔහු විස්තර කරන නාසිස්ම රෝග තුනෙන් එකක් ලෙස පැවසීය. පළමුව, විශ්වය තුළ මිනිසාට හිමි කේන්ද්‍රීය ස්ථානය අහිමි කරමින් කොපර්නිකස් පෘථිවිය සුර්යයා වටා පරිභ්‍රමණය වන බව පැවසීය. ඉන්පසු, සියලුම ජීවින් අතර මිනිසාට හිමිව තිබූ වරප්‍රසාදී ස්ථානය අහිමි කරමින් ඩාර්වින් මිනිසා පරිනාමයේ තවත් එක් නිශ්පාදනයක් පමණක් බව ඔප්පු කළේය. අවසානයේ, ෆ්‍රොයිඩ් මානසික ක්‍රියාවලිය තුළ ඇති අවිඥානයේ අතිප්‍රමුඛ භූමිකාව පැහැදිලි කිරීමෙන් අහම (ego) තම ශරීරය තුළදීම වුව පාලකයා නොවන බව පෙන්වා දුන්නේය. නිදහස සහ ස්වාධිපත්‍ය පිළිබඳ කෙනෙකුගේ වැටහීම හුදෙක් එය භුක්ති විඳින්නාගේ මිත්‍යාමතයක් යැයි කියවෙන සහ මනස, හුදෙක් දත්ත සකස් කිරීමේ යන්ත්‍රයකට සීමා වන වර්තමානයේ නව විද්‍යාත්මක සොයා ගැනීම් තවදුරටත් අවඥාවට කරුණකි. මීට සාපේක්‍ෂව, මනෝ විශ්ලේෂණය පිළිබඳ අවසන් නිගමනය වඩාත් ගතානුගතික ලෙස පෙනේ.

මනෝවිශ්ලේෂනය යනු යල්පැන ගිය සංකල්පයක් ද? නිසැකයෙන්ම එය යල් පැන ගොසිනි. ඒ අනුව, මිනිස් සිතෙහි ප්‍රජානනය පිළිබඳ හා ස්නායු ජීවවිද්‍යාත්මක ආදෘශ්‍යය, ෆ්‍රොයිඩියානු ආදෘශ්‍යය අවලංගු කරයි. එනම්, මනෝ චිකිත්සක සායන තුල දී ඖෂධ පිරියම් සහ චර්යා චිකිත්සාවන් මගින් මනෝ විශ්ලේෂන චිකිත්සාවන් විස්ථාපනය කරනා අතර සමාජධර්මය පිළිබඳ සංකල්පයන්, වර්තමාන සුඛපරමවාදය හමුවේ පුද්ගලයාගේ ලිංගික පෙළඹීම් සැහීමට පත් නොවන සමාජයක් තුළ වඩාත් යල් පැනගිය ප්‍රත්‍යයක් බවට පත් වේ. නමුත් අවසන් නිගමනය සඳහා ඉක්මන් නොවීම වඩාත් සුදුසුය. ඇතැම් විට මේ සියල්ලම වෙනුවට මනෝවිශ්ලේෂනයේ යුගය උදාවූවා පමණක් යැයි උදක් කියා සිටීමට වුව අවස්ථාව ලැබෙනු ඇත.

වර්තමාන ගතානුගතික සංස්කෘතික විචාරයේ එක් ස්ථායි තේමාවක් වනුයේ, මෙම නිර්බාධ යුගයේ ළමයින් සඳහා ස්ථිර සීමාවන් හා බාධක නොමැති වීමයි. මෙය ඔවුන්ව එක් ප්‍රකර්ෂයක සිට අනෙකට පොළඹවමින් අපේක්ෂාභංග (frustrate) කරයි. සංකේතීය අධිකාරයක් මගින් පැන වූ ස්ථාවර සීමාවකින් පමණක් ඔවුන්ගේ ස්ථායීතාව හා තහනමේ සීමාව ඉක්මවා යෑමේ තෘප්තිය තහවුරු කළ හැකිය. වැඩි දුරටත්, අවිඥානය තුළ නිශේධනය ක්‍රියාකරන බව දැක්විය හැක. නොදන්නා ගැහැණියක් පිළිබඳ නැවත නැවත පෙනෙන සිහිනයක් ගැන තම රෝගියෙකු කල ප්‍රකාශයක් මෙහි දී ෆ්‍රොයිඩ් සඳහන් කරයි. මගේ සිහිනයේ සිටින ගැහැනිය කවුරු වුනත්, මම දන්නව ඒ මගේ මව නොවන බව’. මෙම ප්‍රකාශය ඒ ඔහුගේ මව ම බව සනාත කර ගැනීමට ෆ්‍රොයිඩ් හට පැහැදිලි සාක්ෂියක් විය. එම රෝගියා වර්තමානයේ සිටියා නම් ඒ සිහිනය පිළිබඳව මෙසේ කියනු ඇත: මගේ සිහිනයේ සිටින ගැහැනිය කවුරුන් වුවත්, මට සහතිකයි ඇයට මගේ මව සමඟ කුමක් හෝ ගනුදෙනුවන් ඇති බව’.

සාම්ප්‍රදායිකව ගත් කල මනෝවිශ්ලේෂනයේදී බලාපොරොත්තුවන කාර්යය නම් රෝගියාගේ සාමාන්‍ය ලිංගික තෘප්තිය මැඩ පවත්වන බාධක ජයගැනීමට ඔහුට/ඇයට අවශ්‍ය මානසික ශක්තිය/හැකියාව ලබා දීමය. වර්තමානයේ, ‛විනෝදයේ’ (enjoyment= විහරණය) නිරෝධාඥාවට (injunction) යටත්ව, සැවොම සෑම අතකින්ම විවර්ෂනය වී ඇති හෙයින්, ඇතැම් විට මනෝවිශ්ලේෂනය දෙස ද වෙනස්ම කෝණයකින් බැලීම සුදුසු වේ. එනම්, එය යමෙකුට විහරනය නොකිරීමට ඉඩ දෙන, නැතිනම් විහරණය කිරීමට ඉඩ නොදෙන භාෂිතයක් නොව, යමෙකුට විහරණය කිරීමට ඇති බැලපෑම ලිහිල් කරන උපකාරයක් ලෙසිනි. මනෝවිශ්ලේෂන අර්ථකථන භුමිකාවේ සිදු වූ මෙම විරෝධාභාසී වෙනස්කම සිහිනයේ දී තරම් වෙනත් කිසිම ස්ථානයක දී පැහැදිලි නොවේ. සිහිනය පිළිබඳ සාම්ප්‍රදායික ෆ්‍රොයිඩියානු න්‍යාය පෙන්වා දෙනුයේ, සිහිනය යනු ස්වභාවික ලිංගිකත්වයේ එක් රීතියක් ලෙස පවතින අවිඥානික ආශාවේ මනෝවිඥානික අවබෝධයක් ලෙසයි. ‘ The Interpretation of Dreams නැමති කෘතියේ ආරම්භයේ දී ෆ්‍රොයිඩ් ඔහු දුටු ඉර්මාගේ එන්නතපිළිබඳ සිහිනය ගැන විස්තරාත්මක අර්ථකතනයක් දක්වයි. පුදුමයට මෙන්, මෙම අර්ථකතනය පැරණි සෝවියට් විහිළු කතාව ක් සිහිගන්වන්නකි. එය මෙසේය. ජාතික ලොතරුයියෙන් රබිනෝවිච්ට අළුත් මෝටර්රථයක් දිනුම් ඇදුනද?’ ‛ඔහුට දිනුමක් ඇදුනනම් තමා නමුත් ඒ බයිසිකලයක්, මෝටර්රථයක් නෙමේ, ඒක අළුත්ද පරණ ද කියන්න බෑ වගේම ඔහු එය දිනුවා කියන්නත් බෑ, මොකද ඒක ඔහුගෙන් සොරාගත් බයිසිකලයරෑ. ඉදින්, සිහිනය යනු සිහින දකින්නාගේ අවිඥානික ලිංගික ආශාව විද්‍යාමාන වීමක් ද? සිද්ධාන්තයට අනුව නම් මෙය සත්‍යයකි. නමුත් සිහිනය පිළිබඳ තම මතවාදය ඉදිරිපත් කිරීමට උදාහරණයක් ලෙස ෆ්‍රොයිඩ් භාවිතා කරන සිහිනය තුල ඔහුගේ ආශාව මෛථුන හෝ අවිඥානික නොවන අතරම, තවදුරටත් එය ඔහුගේ සිහිනයක් ලෙස ද හැඳින්විය නොහැක. සිහිනය ආරම්භවන්නේ ෆ්‍රොයිඩ් සහ ඔහුගේ රෝගියා ඉර්මාඅතර ඇතිවන, එන්නතෙන් හටගත් ආසාදනයක් හේතුවෙන් ඇයට දුන් ප්‍රතිකාරය අසාර්ථකවීම පිළිබඳව ඇති වූ සංවාදයකිනි. සංවාදය අතරතුර ෆ්‍රොයිඩ් ඇගේ මුඛය ගැඹුරටම පරීක්‍ෂා කරයි. ඔහුට පිළිකුල් සහගත කොරපොතු සහ නාසික අස්ථි වැනි කැරලි ගැසුනු සැකිලි දක්නට ලැබුණි. මෙහි දී, හදිසියේම සංත්‍රාසය ප්‍රහසනයකට වෙනස්වුනි. ෆ්‍රොයිඩ්ගේ මිත්‍ර වෛද්‍යවරු තිදෙනාගෙන් අයෙකු වන ඔටෝ (Otto) නැමති වෛද්‍යවරයා ඉර්මාගේ ආසාදනයට හේතු වූ හාස්‍යජනක ව්‍යාජ වෘත්තීමය ප්‍රභාෂව විස්තර කිරීමට ඉදිරිපත් වෙයි. ඉර්මාට ලබා දුන් එන්නත පිළිබඳ කවුරුන් හෝ දෝෂාරෝපණයට ලක් විට යුතු නම්, ඒ ඔටෝ නම් වෛද්‍යවරයාම විය. මක් නිසා ද යත්, එම එන්නත ලබා දුන්නේ ඔහු බැවිනි. මෙහි දී සිහිනය දෝෂාරෝපණය එල්ල කිරීමේ එක් පියවරක් ලෙස දැක්විය හැක. එතරම්ම නොසැලකිල්ලෙන් එන්නත් ලබා නොදිය යුතුයි, එන්නත් නළය අපවිත්‍රව තිබුණා විය හැකියයයි වෛද්‍යවරු අවසන් නිගමනයට එළඹේ. ඉඳින් සිහිනයෙන් පැහැදිලි වන නෛසර්ගික අදහස අවිඥානික, මෛථුන සංකල්පනාවක් නොව, ඉර්මාගේ අසාර්ථක ප්‍රතිකාරයේ වගකීමෙන් නිදොස්වීමට ඇති ෆ්‍රොයිඩ්ගේ සචේතනික ප්‍රර්ථනයයි. සිහිනයෙන් ප්‍රකාශවන්නේ අවිඥානික ලිංගික ආශාවන්ය යන මතවාදය හා මෙම නිදසුන කෙතරම් දුරට ගැලපෙන්නේද?

මෙහිදී තීරණාත්මක ශෝධනයක් අවශ්‍යව ඇත. සිහිනය ඇති කරන අවිඥානික ආශාව, එහි සවිස්තරාත්මක අන්තර්ගතය බවට පරිවර්තනය වන හුදු නෛසර්ගික සිතුවිල්ලම නොව, සිහින ක්‍රියාදාමය තුලටම කිදාබැස ඇති වෙනත් අවිඥානික ප්‍රාර්ථනයකි. මෙහි දී සිහිනයෙහි සවිස්තරාත්මක ආකෘතිය තුළ නෛසර්ගික සිතුවිල්ල විකෘත වීමට ඉඩ ඇත. සිහින ක්‍රියාවලියේ විරුද්ධාභාසය රැදෙනුයේ මෙම කරුන මතය. කෙනෙකු තමාට බාදා කරන, ඉවත් කර ගැනීමට අවශ්‍ය සිතුවිල්ල, තම සිහිනයේ සියුම් පදනම ලෙස පරිවර්තනය කර සිහිනය තුළ මුළුමනින්ම සවිඥානිකව රූපාක්ෂරණය (hieroglyph) කරයි. කෙසේ නමුත්, මෙම රූපණය හරහා වෙනත් මුලික ආශාවක් සිහිනය තුළ නිරූපනය විය හැක. එය මෛථුන, අවිඥානික ආශාවයි. ඉඳින්, ෆ්‍රොයිඩ්ගේ සිහිනයේ අවසාන අර්ථය කුමක් ද? ඔහුගේ පැහැදිලි කිරීම තුළ ෆ්‍රොයිඩ් තම සිහින සිතුවිල්ල (dream-thought) එනම් ඉර්මාට දුන් අසාර්ථක ප්‍රතිකාරයේ නිවරදිකරුවීමට ඇති ඔහුගේ අවිචක්ෂන ප්‍රාර්ථනය කෙරෙහි අවධානය යොමු කරයි. කෙසේ නමුත්, ඔහුගේ සවිස්තරාත්මක අර්ථදැක්වීම තුළ ගැඹුරු පෙළඹවීම් ගැන ඉඟියන් දක්නට ලැබේ. ඉර්මා හා ඈඳුනු සිහිනය ෆ්‍රොයිඩ් හට තවත් ගැහැණුන් කිහිපදෙනෙක් පිළිබඳව මතක් කර දෙයි. වාචික පරීක්‍ෂණය, ඔහුගේ වෙනත් රෝගියෙකු වූ, මුඛය තුළ බලන තෙක් සුන්දර තාරුණ්‍යයේ පිළිබිඹුවක් වන් වූල තරුණ ගුරුවරියක මතකයට නැංවිය. ජනේලය අසල ඉර්මාගේ රුව ඔහුට ඉර්මාගේ ලෙන්ගතු යෙහෙලියක සිහි කැඳවීය. වරක් ඉර්මාගේ රුව ගැන ද සුන්දර අදහසක් දැරූ ෆ්‍රොයිඩ්ට, ඇගේ යෙහෙලිය ද හුදු මායාවක් බව සිතීමට සෑහෙන තරම් හේතු සාදක විය. කොරපොතු සහ නාසික අස්ථි, වරක් නාසය ඉදිමීම වැලැක්වීමට ඔහු කොකේන් භාවිතා කල බව ද එය ආදර්ශයට ගත් ඔහුගේ එක් කාන්තා රෝගියෙක් නාසික ශ්ලේෂ්මල පටල දියවීමේ තත්වයට ගොදුරු වූ බව ද ෆ්‍රොයිඩ්ට මතක් විය. එක් වෛද්‍යවරයෙකු හා ඔහු අතර වූ සාකච්ඡාවක්, බරපතල විෂවීමකින් පසුව මියගිය ඔහුගේ කාන්තා රෝගියෙක් සිහි ගැන්වීය. එම රෝගියාට තිබුනේ ද ෆ්‍රොයිඩ්ගේ වැඩිමහල් දියණියගේ මැතිල්ඩා යන නම මය. මෙහි දී ෆ්‍රොයිඩ්ගේ සිහිනයේ අවිඥානික ආශාව නම් සිහිනය තුළ ඉර්මා විසින් මුර්තිමත් කරන සෑම ගැහැණියක්ම යටත් කරගෙන සිටින ප්‍රාථමික පියාවීමේ ප්‍රාර්ථනයයි.

කෙසේ නමුත් මෙම සිහිනය පිළිබිඹු කරනුයේ කාගේ ආශාවක්ද? යන ප්‍රෙහේලිකාව ඇති කරයි. මෑත කාලයේ දී සිදු කෙරුණු අර්ථදැක්වීම්, ෆ්‍රොයිඩ්ගේ සිහිනය පිටුපස ඇති සැබෑ පෙලඹවීම නම් ඔහුගේ මිතුරා සහ සහකාරයා වන ෆ්ලීස් නැමැත්තා වරදින් නිදහස් කිරීමට ඇති ෆ්‍රොයිඩ්ගේ ආශාව බව පැහැදිලිවම ස්ථාපිත කරයි. ඉර්මාගේ නාසයේ සැත්කම අසම්පූර්ණව සිදු කරන ලද්දේ ෆ්ලීිස් විසිනි.

ෆ්‍රොයිඩ්ගේ සිහිනයේ ආශාව තමාවම නිදොස් කිරීමයි. ඔහුගේ ප්‍රාර්ථනය ප්‍රතිකාරයේ අසාර්ථකත්වයට තම යහළුවා වන ෆ්ලීස් වගනොකිවයුතු බව පෙන්වීම බැව් සිහිනය මනාව පෙන්නුම් කරයි. එනම් සිහිනය ෆ්‍රොයිඩ්ගේ ආශාව ප්‍රකාශ කරයි. නමුත්, ඔහුගේ ආශාව ඒ වන විටත් ෆ්ලීස් නැමැති අනෙකාගේ ද ආශාවයි.

ඇයි අප සිහින දකින්නේ? ෆ්‍රොයිඩ්ගේ පිළිතුර ප්‍රමානය ඉක්මවා සරලය. එනම්, සිහිනයෙහි පරම කාර්යය වනුයේ සිහින දකින්නාට නින්ද තුළ රැඳී සිටීමේ හැකියාව ලබා දීමය. සාමාන්‍යයෙන් මෙය අර්ථ දක්වනුයේ, බාහිර බාධාවන්: උදාහරණයක් ලෙස විවිධ ශබ්ධ, අවදීවීමට තර්ජනය කරන අවස්ථාවන්හි දී, දකිමින් සිටින කුමන වර්ගයේ හෝ සිහිනයක් ඉවසා සිටීමක් ලෙසය. එවැනි අවස්ථාවන්හි දී නිදා සිටින්නා නිතැතින්ම බාහිර උත්තේජකය ඇතුලත් වන කුමන හෝ සිද්ධියක් මවා ගැනීමට පටන් ගනී. එසේ කිරීමෙන් තවත් මඳ වේලාවක් ඔහුට/ ඇයට අවදි නොවී නින්දේ සිටීමට හැකියාව ලැබේ. බාහිර උත්තේජකය වඩාත් ශක්තිමත්වීමේ දී, අවසානයේ නින්දේ සිටින්නා අවදි වේ.

මෙය ඒ තරමටම සරල කාරණයක්ද? “ The Interpretation of Dreams” යන කෘතියේ තවත් ප්‍රසිද්ධ උදාහරණයක් දක්වයි. එනම්, මෑත කාලයකදී තම පුතා මියගිය කලකිරුණ පියෙක් නින්දේදී, තම පුතා තාත්තට මාව ගිනිගන්නව පේන්නේ නැද්ද?’ යයි බියජනක ලෙස කොඳුරමින් ගිනිජාලාවක් මැද තම ඇඳ අසල සිටිනු සිහිනයෙන් දැකීමය. ඒ සැනින්ම පියා අවදිවනුයේ තම ඇඳ අසල පෙරළුන ඉටිපන්දමකින් ඇවිළුන ගින්නකින් තම මියගිය පුතුගේ මිනී ඇඳුම ගිනිගනිමින් තිබෙනු දැකීමටය. ඔහුට නින්දේදී දුමෙහි සුවඳ දැනී තිබුණි. ඒ හා ඈඳා තම පුතුගේ ගිනිගන්නා රුවක් සිහිනයෙන් දකිනුයේ ඔහු තම නින්ද මදක් දිග්ගස්සා ගැනීමටය. මෙහිදී ඔහු අවදි වනුයේ සිහින-සෙනාරිය (දර්ශනය) තුළ පැවතීමට නොහැකි වන තරමටම බාහිර උත්තේජකය ශක්තිමත් වූ නිසා ද? නැතිනම්, ඒ නින්ද දිගුකර ගැනීම සඳහා සිහිනය තුළ පියා විසින් ගොඩනගා ගන්නා ප්‍රතිවෘත්තය (obverse) යථාර්ථය ද ඉක්මවා ගිය ඉවසිය නොහැකි අසහනකාරී තත්වයකට එළඹෙන නිසා ද? එසේ නම් ඔහු අවදිවනුයේ වඩාත් භයානක සිහිනයෙන් මිදී අවදානම් අඩු යථාර්තයට පලා ඒමටය.

සිහින දෙක තුළම, ඉර්මාගේ උගුර සහ ගිනිගන්නා පුතුගේ රුව ලෙස අප්‍රසන්න, කඨෝර දර්ශනයක් විය. නමුත්, දෙවන සිහිනයේ එම දර්ශනය සිහින දකින්නා අවදි කරන අතර, පළමු සිහිනයේදී සංත්‍රාසය වෛද්‍යවරුන්ගේ පැමිණීමට ඉඩ සලසයි. මෙම සමාන බව ෆ්‍රොයිඩ්ගේ සිහිනය පිළිබඳ න්‍යාය තේරුම්ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධානම සාධකය සපයයි. දෙවන සිහිනයේ පියාගේ අවදිවීමෙන් කෙරෙන කාර්යයම පළමු සිහිනයේ විලාසය හදිසියේ වෙනස්වීම තුළින් සිදු කෙරේ. එනම් පොදු යථාර්තය විසින් සැබෑ ක්ෂිතිමය අසහනය මග හැරීමට හැකියාව ලබා දෙන බවය.

නාසි තේමාව (Deutschi and Erachie) සැබවින්ම අර්ථ දැක්වනුයේ එහි විරුද්ධාර්ථය බව ඇඩොනෝ (Adorno) පැවසීය: මෙම ආමන්ත්‍රණයට ඔබ ප්‍රතිචාර දැක්වුවොත් ඔබට දිගටම නිදාගැනීමටත් සමාජ පසමිතුරුතාවය පිළිබඳ සත්‍යය මඟහැරීම පිළිබඳව සිහින දැකීමටත් හැකිවනු ඇත.ප්‍රිමෝ ලෙවීගේ Reveille නමි කවි පන්තියේ පළමු පද්‍යයේ වදකගාර කඳවුරකින් ගැලවුන අයෙක් කඳවුරේ සිටි කාලයේ තම නිවසට යෑමත්, කෑම ගැනීමත්, ඔහුගේ නැදෑයින්ට තම කතාව කීමත් සිහිනෙන් දකිමින් සිටියදී පෝලන්ත මුරකරුගේ අවදිවනු’ (Wstawac) යන විධානයෙන් ඇහැරුණ ආකාරයත් මෙනෙහි කරයි. දෙවන පද්‍යයේ දී ඔහු යුද්ධයෙන් පසු සැබවින්ම තම නිවසට පැමිණ, ආහාර ගෙන, නැදෑයින්ට තම කතාව කියන විට, පෙර විධානයම ඔහුට නැවත ඇසෙන ආකාරය හදිසියේම මවා ගනී. මුල් පද්‍යයේ සිට දෙවන පද්‍යයට පැමිණෙන විට සිහිනයත් යථාර්ථයත් අතර ඇති සම්බන්ධයේ ප්‍රතිවර්තනය ඉතා වැදගත්ය. අවස්ථා දෙකෙහිම අන්තර්ගතය එක සමාන වේ. අවදිවනුයන නියෝගය මඟින් අවස්ථා දෙකෙහිම වූ ප්‍රසන්න ගෘහස්ථ දර්ශනය අතරමඟදී නවතා ඇත, නමුත් පළමු අවස්ථාවේ අවදිවීමට කරන අණ කිරීමෙන් කෲර ලෙස සිහිනයට බාධා කර ඇති අතර දෙවන අවස්ථාවේ සිතෙහි මවාගත් නියෝගය මගින් යථාර්තයට බාධා වී ඇත ෆ්‍රොයිඩ් ගේ “ The Interpretation of Dreams”යන කෘතියෙන් උපුටා ගත් දෙවන උදාහරණය සමුල ඝාතනයන්ගෙන් දිවි ගලවාගත් එහෙත් තම පුතුව ආදාහනයෙන් බේරා ගැනීමට නොහැකිවූ පියෙකුට අදාල වුවක් යැයි සිතුවොත්: ඔහු තුළ වඩා හොල්මන් කරනුයේ ඔහු විසින්ම ඔහුට පවරා ගන්නා දෝශාරෝපණය බැව් පැහැදිලි වේ.

අප එදිනෙදා අත්දකින යථාර්තය තව තවත් අසත්‍යයෙන් සෑදුන සත්‍යයක් ලෙස පිළිබිඹු කරන සමාජයක් තුළ ෆ්‍රොයිඩ්ගේ අන්තර්දෘෂ්ඨින් ඒවායේ සැබෑ අගය පෙන්වා දෙයි. අප සමහරෙක් ඇබ්බැහි වී ක්‍රීඩා කරන අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුතු පරිගණක ක්‍රීඩා සලකා බැලූ විට, එම ක්‍රීඩා ස්නායු දුර්වලතා ඇති අයට වුව, තිරයේ සිටින හැඩිදැඩි ආක්‍රමණිකයා හා ඒකාත්මික වී අනෙක් අයට පහර දීමටත් ප්‍රචණ්ඩකාරී ලෙස ගැහැණුන් විහරනය කිරීමටත් හැකියාව ලබා දෙන බව පෙනී යයි. එකී දුර්වලයින් සයිබර් අවකාශයට මුවා වී ඔවුන්ගේ උදාසීන සහ බලහීන යථාර්තයෙන් මිදීමට යත්න දරන බව පැවසීම ඉතා පහසු කාර්යයකි. නමුත්, මෙම ක්‍රීඩා ඊට වඩා කාර්ය සාදක විය හැකිය. එය ආචාරවත් සමාජ සංරෝධනය හේතුවෙන් සැබෑ ජීවිතයේ දී මට රඟපෑමට නොහැකි, මා තුළ සැඟව සිටින මුරණ්ඩු හිතුවක්කාරයා මෙම ක්‍රීඩාවල යෙදීමෙන් පිළිබිඹු කිරීමට යත්න දැරීමක් වේ නම්? එවිට මා තුළ සිටින අතථ්‍ය පුද්ගලයා යථාර්තය ඉක්මවා යථාභූත නොවන්නේ ද? එය එසේ වන්නේ, සැබෑ ලෝකය තුළ මට කිසිදා කළ නොහැකි දේ හුදෙක් ක්‍රීඩාවක් පමණක් වූ මේ තුළ නිදහසේ මට කළ හැකි බව මා හරියාකාරවම දන්නා නිසා නොවේ ද? මෙය සියුම්ව ගත් කළ, ලැකාන් පවසන ආකාරයට, යථාර්තයට ඇත්තේ කල්පිතයකට තිබෙන්නා හා සමාන වූ ව්‍යුහයකි: එනම්, සිහින දැකීම හෝ දවල් සිහින දැකීම යන මවා පෑම තුළ නිරූපනය වන අවරෝධනය තුළම සමාජ යථාර්තය සොයා ගත හැකි බවය. “ The Interpretation of Dreams”යන කෘතියේ පරම ආදර්ශය මේ තුළ ගැබ්ව ඇත: යථාර්තය ඇත්තේ සිහිනය දරාගත (sustain) නොහැක්කවුන් සඳහාය.

ස්ලෙවොයි ජිජැක්ගේ Freud Alive! නම් ලිපියේ පරිවර්තනයයි.

මහේෂ් හපුගොඩ


 




No comments:

Post a Comment